රියර් අද්මිරාල් උදේනි සේරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ සිය වසර 32 ක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 06) විශ්‍රාම යන ලදී.

එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් සේරසිංහ වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.

1987 වර්ෂයේදී ඉඳුරම බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සේරසිංහ මීට පෙර ශ්‍රී ලංකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, නාවික අණභාර නිලධාරි (පුනෑව), නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික ගොඩබිම් මෙහෙයුම්, අධ්‍යක්‍ෂ නාවික මැරීන් ආදී විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.