‘සාගර’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

මැලේසියාවේ ලන්කාවි දූපතේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා පසුගිය මාර්තු 19 වන දින ත්‍රිකුණාමලය වරායෙන් මැලේසියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සාර්ථක ලෙස සිය පුහුණු සංචාරය නිම කිරීමෙන් පසු අද (අප්‍රේල් 05) දිවයිනට ලඟා විය. සාගර නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දුවිමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව වරාය පරිශ්‍රය වෙත පිළිගැනීමට කටයුතු කෙරුණි.

එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු උපුල් ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ. එහිදී නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් අනිල් බෝවත්ත සහ නියෝජ්‍ය ආඥාපතිතුමා සුහද පිලිසඳරක නිරත වූ අතර, එහිදී පුහුණු සංචාරය පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී. අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරි විසින් නියෝජ්‍ය ආඥාපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

ලීමා 2019 ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණය මාර්තු මස 26 වන දින සිට 30 වන දින දක්වා මැලේසියාවේ ලන්කාවි දූපතේ පැවැති අතර, එහිදි නාවික අභ්‍යාස මෙන්ම විවිධ වැඩසටහන් රැසකට ද නෞකාවේ නැව් මුළුව සහභාගිවන ලදී. එමෙන්ම මැලේසියාවේ නිළ සංචාරයක නිරත වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පසුගිය මාර්තු 27 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ නිරික්‍ෂණ චාරිකාවක ද නිරත වන ලදි.