තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 751.94 ක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 10 වන දින මන්නාරම, වැලිපර හතරේදි (04) මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 03 ක් සොයා ගැනීමට හැකි විය. ඒ අනුව ඊයේ (මාර්තු 11) විශේෂ නාවික මෙහෙයුමක් මන්නාරම, වැලිපර හතරේ (04) සිට හත (07) දක්වා සිදු කළ අතර, එහිදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 751.94 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, ඒවා පාර්සල් 16 ක බහා තිබි ඇත.

ඒ අනුව එම බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි. ජාවාරම්කරුවන් විසින් මෙම බීඩී කොළ නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන ඒමට පසුගිය දින කිහිපය පුරාම උත්සහ කලද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් මෙම ජාවාරම් මැඩපැවැත්විමට හැකියාව ලැබී ඇත. ඊයේ මෙම ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 3404.21 ක ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.