බීඩී කොළ කිලෝග්‍රෑම් 706.32 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) මන්නාරම, ඌරුමලෙයි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 15 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගන්නා ලද අතර, නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර සෝදිසි කිරීම් වලදි මන්නාරම, වැලිපර හතරේදි (04) තවත් බීඩී කොළ සහිත පාර්සල් 03 ක් සොයා ගැනීමට හැකි විය.

ඒ අනුව සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 706.32 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, ඒවා ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26, 33, 34 සහ 39 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම බීඩී කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

තවද, ඊයේ ඩෙල්ෆ්ට් දුපතට දකුණු දෙසින් වූ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 39.8 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, ඒ අනුව මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 2652.27 ක ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.