උතුරු මැද නාවික විධානයට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් යන්ත්‍රයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය මඟින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් පසුගිය වර්ෂයේ හඳුන්වා දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය තුළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් යන්ත්‍රයක් පසුගිය පෙබරවාරි මස 07 වන දින ස්ථාපිත කරන ලද අතර, ඒ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ඉකෝ ස්පින්ඩල් පුද්ගලික ආයතනය මඟින් ලබා දීමට කටයුතු කරන ලදී. මෙමඟින් විධානය තුල එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා සුදුසු පරිදි සකස් කොට ප්‍රතිචක්‍රීකරණ ආයතන වෙත ලබා දීමට කටයුතු කරනු ලබයි.

එමෙන්ම, මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරිකත්වය සම්බන්ධව ඉකෝ ස්පින්ඩල් පුද්ගලික ආයතනයේ නිලධාරින් පිරිසක් විසින් එක්දින ප්‍රායෝගික පුහුණු සැසියක් ද පැවැත්වීමට කටයුතු කල අතර, ඒ සඳහා විධානයට අයත් ආයතනයන්හි ජ්‍යේෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගිවි සිටියහ.