හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 01) මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 20 ක් සොයා ගෙන ඇති අතර, එම පුද්ගලයින්, හෙරොයින් ප්‍රමාණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතා කල ජංගම දුරකථනය ද ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කලවන්චිකුඩි, පොලිස් විශේෂකාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය පෙබරවාරි 28 වන දින මඩකලපුව, ජයන්තිපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබී හෙරෝයින් මිලි ග්‍රෑම් 37 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවන මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාවේ නොමද සහය අඛණ්ඩව ලබා දීමට කටයුතු කරනු ඇත.