නාවික හමුදාධිපතිතුමන්ගේ වයඹ නාවික විධාන සංචාරය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි 12 සහ 13 යන දෙදින වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පළමුව නාවික හමුදාධිපතිතුමන් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ සරඹ පිටියේදී අංශ පිරික්‍සුමක් පැවැත්විය. අනතුරුව, භරණ ආයතනයේ පැල රෝපණයක් සිදුකළ අතර, වයඹ නාවික විධානය නියෝජනය වන පරිදි පැමිණ සිටි නිලධාරීන් මෙන්ම නාවිකයින් ද ඇමතූ නාවික හමුදාධිපති තුමන් පැමිණ සිටි නිලධාරින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. නාවික හමුදාධිපතිතුමා ශ්‍රීලංනානෞ භරණ ආයතනයට අයත් නාවික අනුඛණ්ඩ වල නිරීක්‍ෂණ චාරිකාවේ නිරතවූ අතර, කණිෂ්ඨ නාවික විවාහක නිවාස ඉදිකිරීම් කටයුතු, ඒ 530 (Hovercraft) යාත්‍රාව, ශ්‍රී ලංනානෞ ථේරපුත්ත ආයතනය සතු භුමියෙන් සිවිල් ජනතාව වෙත ලබා දිමට නියමිත ඉඩම් නිරීක්‍ෂණය කිරීමටත්, අවසන් වශයෙන් භරණ ආයතනයේ ඉදිකරමින් පවතින නිලධාරී නිවාසයෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණයට ද එක්විය. ඒ අනුව, එදින සන්ධ්‍යාවේ නාවික හමුදාධිපති තුමන් වෙනුවෙන් පැවැත්වූ සුහද හමුවේදී වයඹ නාවික විධානය භාර ආඥාපති තුමන් විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද පිරීනැමීමට කටයුතු කෙරිණි.

පසු දින කල්පිටිය, බත්තලංගුංඩුව නාවික අනුඛණ්ඩයේ රේඩාර් යන්ත්‍ර නිරීකෂණයටත් අලුතින් ජැටියක් ඉදිරිකිරීමට සුදුසු මුහුදු ප්‍රදේශය නිරීක්‍ෂණය කිරීමටත් එක් වූ නාවික හමුදාධිපති තුමන් ඉන් පසු ශ්‍රීලංනානෞ විජය ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වන ලදි. එහිදී නාවික හමුදාධිපතිතුමන් අලුතින් ඉදිකිරීමට නියමිත ආයතනයේ ගොඩනැගිලි ආකෘතිය නිරීක්‍ෂණය කිරීමෙන් පසු එහි ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරීමට උපදෙස් ලබා දුන් අතර, ආයතනයේ නැව්මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදී. ආනවාසල නාවික අණුකණ්ඩයේ ස්ථාපිත කරන ලද ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීමට එක්වූ නාවික හමුදාධිපති තුමන් කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආඥාපතිතුමන් ඇතුළු නැව්මුළුවට ප්‍රසංශාව පලකළහ. අවසන්වශයෙන් ශ්‍රීලංනානෞ තම්බපන්ණී ආයතනයෙහි නිරීක්‍ෂණ චාරිකාවෙහි නිරතවූ එතුමන් එම සංචාරය සනිටුහන් කරනු වස් අඹ පැලයක් රෝපනය කිරීමට ද කටයුතු කෙරිණි.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති තුමන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, වයඹ නාවික විධානයට අයත් ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.