ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හට පාකිස්ථානු රජයෙන් ගෞරවාන්විත පදක්කමක්

මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය (Aman International Naval Exercise) සඳහා සහභාගී වී සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන Nishan-e-Imtiaz (Military) නැමති ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් පිදුම් ලැබීය. පාකිස්ථානයේ අතිගරු ජනාධිපති තුමන් අරිෆ් අල්වි (His Excellency Arif Alvi) විසින් ඉස්ලාමාබාද් නගරයේදී පැවති විශේෂ උත්සවයකදී ඊයේ (පෙබරවාරි 13) දින මෙම පදක්කම් ප්‍රධානය සිදු කරන ලදී. අද්මිරාල් විජේගුණරත්න 1995 දී පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයෙන් ගෞරව (BSc (Honours) (War Studies)) උපාධිය ලබා ඇති අතර, එය මෙරට හමුදා නිලධාරියෙකු ලද ප්‍රථම උපාධිය ලෙස ඉතිහාසයට එක්ව ඇත. අද්මිරාල් විජේගුණරත්නයන් අසමමිතික නාවික සංග්‍රාම (Asymmetric Naval Warfare) හා කුඩා යාත්‍රා මෙහෙයුම් පිළිබඳ විශේෂඥයෙකු වන අතර, නාවික හමුදාවේ කොමාණ්ඩෝ බලකාය ලෙස සලකන විශේෂ යාත්‍රා බලඝණයේ (Special Boats Squadron (SBS)) නිර්මාතෘ මෙන්ම එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරියාද වන්නේය.

පාකිස්ථානයේ ලාහෝර්හි පිහිටි යුද පාසලෙහි (War College) නිත්‍ය කතිකාචාර්ය වරයෙකුද වන විජේගුණරත්නයන්, යුධබිමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා අසමමිතික නාවික මෙහෙයුම් පිළිබඳව සිය දේශන පවත්වනු ලබයි. නාවික හමුදාධිපති ධූරය දරණ සමයේදී මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වර්ථමානයේදී දෙරටේ හමුදාමය සම්බන්ධතාවයන් වර්ධනය කිරීමෙහිලා ඔහු විසින් මහත් සේවයක් සිදු කර ඇත. එහි ප්‍රථිඵලයක් ලෙස 2018 වසරේදී, දෙරටේ හමුදාවන් අතර පැවති මාණ්ඩලික සාකච්ඡාවන් (Military to Military Staff Talk) දැක්විය හැකිය.

Nishan-i-Imtiz නමින් හැදින්වෙන පදක්කම සුවිශේෂී ජයග්‍රහණයන් උදෙසා එරට සිවිල් පුද්ගලයන් හට පිරිනමනු ලබන ඉහළම අගැයීම් සම්මානය වේ. එම පිදුම සිවිල් පුද්ගලයින් මෙන්ම හමුදාමය පුද්ගලයින්ට පවා පිරිනමනු ලබයි. ඔවුන් එය හමුදා පළඳනාවක් ලෙස තම නිල ඇඳුමෙහි පලඳිනු ලබයි.

ඊයේ (පෙබරවාරි 13) දින අද්මිරාල් විජේගුණරත්නයන් විසින් පිදුම් ලැබූ Nishan-e-Imtiaz නමැති පදක්කම, පාකිස්ථානු රජය විසින් පිරිනමනු ලබන්නේ විදේශීය රටවල රාජ්‍ය ප්‍රධානින් හට පමණි. එමෙන්ම ප්‍රශංසනීය හමුදා සේවයකට හිමිකම් කියන ජෙනරාල් (යුද්ධ හමුදා), අද්මිරාල් (නාවික හමුදාව, වෙරළාරක්‍ෂක හෝ මැරීන් බලකාය) සහ එයාර් චීෆ් මාර්ෂල් (ගුවන් හමුදාව) යන නිලයන් සඳහාද පිරිනමනු ඇත.

අතිශයින්ම සීමිත හා ගෞරවාන්විත ප්‍රධානයක් වන Nishan-e-Imtiaz නමැති පදක්කම, ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රධානය කරනු ලබන ජානාධිපති නිදහස් පදක්කම (Presidential Medal of Freedom- USA) සහ මහා බ්‍රිතාන්‍ය විසින් පිරිනමනු ලබන (Order of British Empire-UK) යන පදක්කම් වලට දළ වශයෙන් සමානත්වයක් උසුලයි.