ලෝක තෙත්බිම් දිනයට නාවික හමුදා දායකත්වය
 

තෙත්බිම්වල වටිනාකම පිළිබඳ ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා ලෝක තෙත්බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 02 වන දින සැමරිමට කටයුතු කරනු ලබයි. 1971 දී ඉරානයේ රම්සාර්හිදි තෙත්බිම් පිළිබඳ රම්සාර් සම්මුතිය සම්මත කරගැනීමට කටයුතු කර ඇති අතර, මෙවර තෙත්බිම් දිනයේ තේමාව වන්නේ ‘තෙත්බිම් සහ දේශගුණික වෙනස්වීම්’ යන්නයි.

ඒ සඳහා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් වයඹ නාවික විධානය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද අතර, එහිදි කඩොලාන පැළ 1000 කට අධික ප්‍රමාණයක් සිටුවිමට නාවික හමුදාව ඇතුළු සිවිල් සංවිධාන කටයුතු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා මහතා ඇතුළු වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ධීවරයින් සහ පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගි වන ලදී. තවද, එම වැඩසටහනට ‍සමගාමිව වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ, විජය, ථෙරපුත්ත සහ තම්බපන්ණි යන ආයතනවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී.

එමෙන්ම වත්මන් නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ පුර්ණ අධික්‍ෂණය මත නාවික හමුදා කඩොලාන ව්‍යාපෘති රැසක් දිවයිනේ කලපු හා කඩොලාන පරිසර පද්ධතීන් ඇති ප්‍රදේශයන්හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් උතුරු, උතුරු මැද , වයඹ සහ ගිණිකොන නාවික ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැඩසටහන සක්‍රීයව මේවන විට ක්‍රියාත්මක වෙමින් පවති. එහි මුලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරය ආරක්‍ෂා කොට සංරක්‍ෂණය කිරීමයි.