මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල මහා පෙරහැරට නාවික හමුදා දායකත්වය
 

වාර්ෂිකව පවත්වනු ලබන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැර මෙම වසරේද පසුගිය අගෝස්තු 16 වන දින සිට 28 වන දින දක්වා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. එම මංගල්‍යය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදා මුලස්ථා‍නයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් නිශාන්ත පිරිස් මහතාගේ සෘජු අධික්‍ෂණය යටතේ එම ආයතනයට අනුයක්ත නිලධාරින් සහ නාවිකයින් විසින් සිය පුර්ණ දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, මහනුවර වැව පරිශ්‍රය ආශ්‍රිතව මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ බෝට්ටු සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු කළ අතර, එහිදී රෝගී තත්ත්වයෙන් සිටි පුද්ගලයින් 13 දෙනෙකු කඩිනමින් ප්‍රථිකාර කටයුතු සඳහා රෝහල් ගත කිරීමට කටයුතු කරන ලදී. තවද, නුවර වැව පරිශ්‍රයේ පිහිටි දියතිලක මණ්ඩපය ඉතාමත් අලංකාරවත් අයුරින් ආලෝකමත් කිරීමට කටයුතු කරන ලද අතර, එය පෙරහැර නැරඹිමට පැමිණ සිටි සියළුදෙනාගේ නොමඳ ප්‍රශාංසාවට පාත්‍ර වන ලදී.  එමෙන්ම, අගෝස්තු 28 වන දින පැවැති අවසන් මහා රන්දෝලි පෙරහැරට සමගාමීව පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේහිදි දියකැපීමේ උත්සවය පැවැති අතර, ඒ සඳහා නාවික හමුදා ඩිංගි යාත්‍රා යොදවා ආරක්‍ෂක ක්‍රමෝපායන් භාවිතා කර එම කටයුතු වඩාත් ක්‍රමවත්ව හා ඉතාමත් සාර්ථකව නිම කර ගැනීමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ සහ සහන ඒකකයට අනුයුක්ත නාවිකයින් කටයුතු කරන ලදී.

ඇසළ මහා පෙරහැර අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විම සඳහා නාවික හමුදාව විසින් සපයන ලද දායකත්වය වෙනුවෙන් අස්ගිරි සහ මල්වතු උභය පාර්ශ්වික මහා නායක හිමිවරුන්ගේ, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන්ගේ සහ සතර මහා දේවාල වල බස්නායක නිලමේවරුන්ගේ ඉමහත් ගෞරවයට හා ප්‍රශංසාවට ලක්වීය.