අම්පාර එක්ගල්ඔයේ ඔරුවක් පෙරලී දියේ ගිලුනු පුද්ගලයින් සෙවිමට නාවික හමුදාව සහය වෙයි
 

ඊයේ (ජුලි 8) අම්පාර දමන එක්ගල්ඔයේ ඔරුවක් පෙරලීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු (4) අතුරුදන්ව ඇතිබවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතාගේ උපදෙස් මත නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය කරා යැවිමට කටයුතු කරන ලදි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බදුල්ල සිරිසීවලී විදුහලේ සුභසාධක සංගමය මගින් සංවිධානය කරනුලැබූ විනෝද චාරිකාවකට සහභාගී වු 45 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් සිව්දෙනෙකි (4) . ඔවුන් ඊයේ (ජුලි  8) පෙරවරු 06.00 ට පමණ එක්ගල් ඔයේ ඔරු පදිමින් විනෝද වෙමින් සිටියදී 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටි ඔරුවේ සමබරතාවය පවත්වාගැනිමට නොහැකි වීම හේතුවෙන් අනතුරට පත්ව ඇති බවත්, ඉන් පස්දෙනෙකුගේ (5) දිවි බේරාගැනීමට අවට සිටි ධීවරයින් සමත් වී ඇති අතර, සිව් දෙනෙකු (4) දියේ ගිලී අතුරුදන්ව ඇත.

ඉන් අනතුරුව, එම ස්ථානටයට පැමිණි නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින්, ප්‍රදේශයේ ධීවර ජනතාව හා පොලීසිය එක්ව විශාල පරිශ්‍රමයක් දරමින්  පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට කටයුතු කළ අතර, බදුල්ල සිරිසීවලී විදුහලේ විදුහල්පති, කේඑෆ් අමරසූරිය (53), පාසල් ගුරුවරයෙකු වන යුඑස්කේ චන්දිම (43)  සහ පාසල් ශිෂ්‍යයෙකු වන ඩබ්සී විදර්ශන (13) යන අය ඒ අතර විය. සොයාගන්නා ලද මළසිරුරු දමන පොලීසිය වෙත භාරදීමට කටයුතු කළ අතර, අතුරුදන් වු පාසලේ මුරකරු යැයි පවසන අනෙක් පුද්ගලයාගේ සිරුර සෙවීමට නාවික හමුදාව මේවන විටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.