පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා (General Zubair Mahmood Hayat) ඊයේ (ජුනි 30) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදි විශේෂ සම්මාන අචාර මුරයක් පිරිනමමින් එතුමන් දකුණු නාවික විධානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා ගාලු කොටුව සහ ගාලු කොටුව සමුද්‍ර කෞතුකාගාරය නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරි සහ පුහුණු කපිතාන්, කපිතාන් සංජිව පෙරේරා මහතා සහ ‍ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ සේවා වනිතා ඒකකයේ අධික්‍ෂණ නිලධාරිනි, ලුතිනන් කොමාණ්ඩර් නිමාලි කුමාරි මහත්මිය ද සහභාගීවී සිටියහ.

එමෙන්ම, ජෙනරාල් සුභායිර් මහ්මුද් මහතා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරල් කපිල සමරවිර මහතා හමුවි සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සඳහා දකුණු විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු හසිත ගමගේ මහතා ඇතුළු දකුණු නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ. එම විශේෂිත අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.