ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2018 සඳහා සැලසුම් ක්‍රියාත්මක කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිව්වන වරටත් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සමුළුව පසුගිය මැයි 29 සහ 30 වන දෙදින විශාකපට්නම්හි පිහිටි ඉන්දියානු නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ඉන්දියානු නාවික නෞකා රන්ජිත් නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් වික්‍රම් මෙහේරා මහතා සහ  කපිතාන් රංජිත් ශර්මා මහතා සහභාගිවූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික දියත් විධානයේ කපිතාන් මුහුදු පුහුණු නිලධාරි, කපිතාන් ප්‍රදිප් රත්නායක මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා නන්දමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන්  ධම්මික විජේවර්ධන මහතා, නාවික හමුදා මාණ්ඩලික නිලධාරි (මෙහෙයුම්) කොමාණ්ඩර් නඳුන් ගුණසේන මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් සුරේෂ් ද සිල්වා මහතා ද සහභාගී වීය.

මෙම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 02 වන දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම, මෙම යුද අභ්‍යාසය ශ්‍රී ලංකා‍ මුහුදු තීරය ආශ්‍රීතව දෙවන වරට පැවැත්වෙන අතර, දෙරටේ යුද නෞකාවන් රැසක් ඒ සඳහා එක්විමට නියමිතව ඇත. තවද, මෙම නාවික අභ්‍යාසය මගින්, ආරක්‍ෂක සබඳතා වර්ධනය කර ගැනීමට, සමුද්‍රීය අසම්මිතික මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය, අන්තර් ක්‍රියාකාරි හැකියාව වර්ධනය කර ගැනීම, නෞකා අතර පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරු කිරීම පැවැත්වීමට අපේක්ෂිතය. එමඟින් ඉන්දියන් සාගරයට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් සැළසෙනු ඇත.