ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වැඩ භාර ගනී
සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කොට ඇත.
ඒ අනුව, අද (ඔක්තෝබර් 26) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව නව නාවික හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පිරිනැමීම ද සිදු කෙරිණි.
ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින්, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සිය නාවික හමුදාධිපති ධූරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර, එම අවස්ථාව සඳහා එතුමන්ගේ දයාබර බිරිඳ, සන්ධ්‍යා රණසිංහ මැතිණිය හා දියණිය වන සුපුනි රණසිංහ යන අයද සහභාගි වී සිටියහ. එමෙන්ම නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, ධජ නිලධාරී නාවික දියත් විධානය, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
අනුරාධපුර ශාන්ත ජෝෂප් විද්‍යාලයේත් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේත් දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මොහු 1982 නොවැම්බර් මස 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව ඇති අතර, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් ලත් මුලික නාවික පුහුණුව අවසානයේදී 11 වන බඳවා ගැනීමට අයත් විශිෂ්ඨතම ශිෂ්‍ය භට නිලධාරියා ලෙස නාවික හමුදා සේවයට එක්විය. අනතුරුව බ්‍රිතාන්‍යයේ ඩාර්ත්මත් හි පිහිටි රාජකීය නාවික හමුදා විද්‍යාපීඨය වෙත ඇතුළත් වීමට වරම් හිමි කර ගන්නා ලදී. එහිදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා හේතුවෙන් අනෙකුත් සියලු විදේශීය සිසුන් අභිබවා ප්‍රථම ස්ථානයට පත්වීමට ඔහු සුදුසුකම් ලැබීය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමට පෙර වයිස් අද්මිරාල් රණසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් සේවය කරන ලදී.














