ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වැඩ භාර ගනී
සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කොට ඇත.
ඒ අනුව, අද (අගෝස්තු 22) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව නව නාවික හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පිරිනැමීම ද සිදු කෙරිණි.
ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින්, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සිය නාවික හමුදාධිපති ධූරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර, එම අවස්ථාව සඳහා එතුමන්ගේ දයාබර බිරිඳ, තිරුනි මැතිණිය ඇතුළු නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමන්, ධජ නිලධාරී නාවික දියත් විධානය, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
වයිස් අද්මිරාල් ට්‍රැවිස් ජෙරම් ලියන්දුරු සින්නයියා මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1982 වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින නාවික හමුදාවට එක්ව ඇති අතර, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ලබා ඇත. 1984 වර්ෂයේ දී නාවික හා සාගරික විද්‍යාපීඨයේ සිය මූලික පුහුණුව නිමා කිරීමෙන් අනතුරුව 1986 වර්ෂය දක්වා බ්‍රිතාන්‍යයේ ඩාර්ත්මත් හි පිහිටි රාජකීය නාවික හමුදා විද්‍යාපීඨය වෙත ඇතුළත් වීමට වරම් හිමි කර ගන්නා ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමට පෙර වයිස් අද්මිරාල් සින්නයියා මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් සේවය කරන ලදී. කන්ද උඩරට මහනුවර ප්‍රදේශයේ ජන්මලාභය ලැබූ එතුමන්ගේ දයාබර බිරිඳ තිරුනි මැතිණිය වන අතර, ඔවුන් දෙපළගේ පුතණුවන් තාරුන් (24) සහ දියණිය එනක්ෂි (21) වේ.













