ඇමරිකානු නාවික හමුදාවට අයත් ෆෝල් රිවර් නෞකාව හම්බන්තොට වරායෙන් නික්ම යයි.
 

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් විධානයට අයත් ෆෝල්රිවර් නෞකාව පසුගිය මාර්තු 7 වන දින හම්බන්තොට වරායට ළඟා විය. එම නෞකාවේ එක්සත් ජනපද, ඕස්ට්‍රේලියා, ජපාන හමුදා සහ රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් පුද්ගලයින් පැමිණි අතර ඔවුන් 12 වන වරටත් පවත්වන ලද ශාන්තිකර සහයෝගීතාව - 2017 වැඩසටහනේ ක්‍රියාකාරකම් රාශියක් සඳහා සහභාගී විය.

මෙම සාමාජිකයින් පසුගිය දෙසතිය මුළුල්ලේ ශ්‍රී ලංකා නාවික හමුදා සහ තවත් දේශිය වෘත්තිකයින් සමග එක්ව සිවිල් ඉංජිනේරු, මානුෂීය සහන සහ ආපදා සහන සැලසීමේ වැඩසටහන් රාශියක් සඳහා සිය දායකත්වය සපයන ලදි.

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද මෙම වැඩසටහන් මාලාවේ නිමාව සනිටුවහන් කරමින් ෆෝල්රිවර් නෞකාව, එම වැඩසටහනට සම්බන්ධ වූ පාර්ශ්වකරුවන් ද කැටුව එහි මීළඟ නැවතුම්පොළවල් වන මැලේසියාව සහ වියට්නාමය බලා අද (18) පිටත්ව යන ලදි.