උතුරු නාවික විධානය විසින් එළුවතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් පසුගිය 5 වන දින යාපනය, එළුවතිව් දූපතේ පිහිටි ශාන්ත තෝමස් කතෝලික පල්ලියේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම මත එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. යාපනය දිස්ත්‍රික්කයේ එළුවතිව් දූපතේ පදිංචි සිවිල් පුද්ගලයින් විශාල ප්‍රමාණකට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය.

මෙම වැඩසටහන මගින් බරපතල, නිදන්ගත, වැඩිහිටි, ළමා, ගර්භනී රෝගාබාධ සහ කාන්තා වෛද්‍ය සායනයන් මෙන්ම විශේෂඥ වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝගීන් යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට ද එහිදී කටයුතු කෙරිණි. මෙම ක්ෂේත්‍ර වෛද්‍ය සායන සඳහා අනලතිව් දිසා රෝහලේ වෛද්‍ය කේ. මහේෂ්වරී මහත්මියගේ සහයෝගය ද ලැබුණු අතර, අවශ්‍ය ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ හේමාස් ඖෂධ හා ඉන්ටෆාර්මා යන ආයතන විසින් නොමිලේ ලබා දෙන ලදී.