ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන විශේෂ සම්මානයකට පාත්‍රවේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවක් වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමේ වැඩසටහන ජපන්, ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය මගින් සංවිධානය කරන ලද “JASTECA” (Japan Sri Lanka Technical & Cultural Association) සම්මාන ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මානයකට පාත්‍රවිය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා මහතාගේ සහ රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 4 වන දින කොළඔ ගලදාරි හෝටලයේ පැවැති මෙම සම්මාන උත්සවය මෙවර පැවැත්වූයේ 21 වන වරටය. එහිදී, ආයතනික සමාජ වගකීම මැනවින් ඉටු කිරීම වෙනුවෙන් වූ විශේෂ සම්මානය, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ කපිතාන් (ඉංජිනේරු) ප්‍රියංකර දිසානායක මහතා වෙත ප්‍රධානය කෙරිණි.

වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුරත්න මහතා නාවික හමුදාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව එතුමාගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමාජීය සත්කාරයන් බොහෝමයක් ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ කපිතාන් (ඉංජිනේරු) ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්ව‍යෙන් සමාජිය ගැටළු සඳහා විසඳුම් සෙවිම ඉලක්ක කර‍ ගනිමින් දැවැන්ත කර්තව්‍යයන් රාශියක් ආරම්භ කළේය. ඒ අනුව 2015 දෙසැම්බර් මස 22 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් අඩු පිරිවැයක් දරමින් කෙටි කාලයක් තුළ වකුගඩු රෝගය බහුලව ව්‍යාප්තව පවතින ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය මහජනතාවට නොමිලේ ලබා දිමේ ඉතා කාලෝචිත ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ කරන ලදි.

ආරම්භක අවදියේදි මෙම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර නිපදවා ස්ථාපිත කිරිම සදහා එක් නාවික පුද්ගලයෙකුගෙන් රු.75.00 ක මුදලක් සිය කැමැත්ත මත නාවික සමාජිය මෙහෙවර අරමුදල (NSRF) වෙත බැර කරන ලදී. එම මුල්‍ය ප්‍රතිපාදන සහ පසුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් ලබාදෙනු ලබන ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් නාවික හමුදාව විසින් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීම සිදු කරගෙන යමින් පවතී. ඒ අනුව, මේ වන විට වකුගඩු රෝගය බහුලව පවතින දිස්ත්‍රික්ක 11 ක් ආවරණය වන පරිදි ජල පිරිපහදු යන්ත්‍ර 153 ස්ථාපිත කර පවුල් 73,200 කට හා පාසැල් දරුවන් 56,700 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන දැනට ශ්‍රී ලංකාවේ Corporate Social Responsibility (CSR) සංයුක්ත සමාජික ප්‍රතිචාරය අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇති බව ජනමාධ්‍ය මගින් අනාවරණය කර ඇත. එපමණක් නොව මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ලංකාවේ මෙන්ම විදේශීය රටවල පැසසුමට ලක් වී ඇති අතර, ඔවුන්ගේ මුල්‍ය ආධාරයන් මත ද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ලබා දෙමින් මෙම සමාජ සත්කාරක වැඩසටහන ඉදිරියට සිදු කරමින් පවතී.

මෙම සම්මානය හිමිවීම සඳහා වත්මන් නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් වලට නායකත්වය ලබාදිම සෘජුවම බලපා තිබේ. තවද නාවික හමුදාව දියත් කර ඇති මෙම ප්‍රජා සත්කාරක සේවාව තුළින් මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සදහා මහත් පිටුවහලක් ලැබී ඇත. මෙම සුවිශේෂී සම්මානය ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා ගත් ජයග්‍රහණයක් වන අතර, නොනිමි මෙහෙවරක නියැලෙන ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මෘතෘ භූමියට ප්‍රයෝජනවත් මෙන්ම මහජනතාවට සවියක් වන ප්‍රජා සත්කාරක වැඩසටහන් කාර්යක්ෂමව හා නිර්මාණශිලිව ඉදිරියටත් සිදු කිරිමට කටයුතු කරනු ඇත.