ඉරනතිව් ක්‍රිස්තියාණි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය
 

වසරේ මුල් දින 40 ට පසුව උදාවන පළමු සිකුරාදා දිනයේදී පවත්වනු ලබන ඉරනතිව් දූපතේ “ජපමාලයේ අප ස්වාමිදුවගේ” දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත්, කිතුනු බැතිමතුන් 700 කගේ පමණ සහභාගීත්වයෙන්, පසුගිය 3 වන දින පැවති මෙම මංගල්‍යය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පුද්ගලයින් විසින් පූර්ණ සහයෝගය ලබා දී ඇත. යාපනය ප්‍රදේශය භාර දේවගැති අති උතුම් ජෝසෆ්තාස් ජෙබරත්නම් පියතුමා මෙම උත්සවයේ මූලාසනය හොබවන ලදී.

නච්චිකුඩා ප්‍රදේශයට නාවික සැතපුම් 6ක පමණ බටහිර දෙසින් ඉරනතිව් දූපත පිහිටා ඇති අතර, පව් සමා කර ගැනීමේ යාඥාවකින් අනතුරුව දූපතේ පිහිටි දේවස්ථානය දක්වා බැතිමතුන් ගේ කරමතින් කුරුසිය රැගෙන යමින් මෙම මංගල්‍යය ආරම්භ වුණි.

වසරක් පාසා පැවැත්වෙන මෙම මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ට අවශ්‍ය මූලික පහසුකම් සලසා දීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි. උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කරනු ලබන එම කර්තව්‍යයන් අතර, බැතිමතුන් සඳහා පානීය ජලය ලබාදීම, වෛද්‍ය පහසුකම් සැලසීම, විදුලි බල පහසුකම් සැලසීම මෙන්ම වන්දනාකරුවන් හට ආරක්ෂාව සැලසීම එම කාර්යයන් අතර ප්‍රමුඛ වේ. එමෙන්ම දූපත වෙත පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ජීවිතාරක්ෂක කණ්ඩායමක් සහ යාත්‍රාවක් ද නාවික හමුදාව මගින් යොදවනු ලැබිණි. මෙම මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් දක්වනු ලැබූ සුවිශේෂී සහාය මීසම භාර පූජක තුමන් මෙන්ම හා බැතිමතුන් විසින් නාවික හමුදාව වෙත ප්‍රශංසාව පුද කර සිටියහ.