නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (4) සමත් විය.

ඒ අනුව, නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රවන් 2 කට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඩෙල්ෆ්ට් දූපතට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු ට්‍රෝලර් යාත්‍රාවන් 2ක්ද සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. අත්අඩංගුවට ගත් ධීවරයින් කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා යාපනය ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සහ උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් 2 කට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 2ක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ධීවරයින්, ධීවර ආම්පන්න සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.