ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 66 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය 2016 දෙසැම්බර් මස 9 වන දින අදට යෙදී ඇත. ඉන්දියන් සාගරයේ දිවයිනක් ලෙස පිහිටා තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙසින් නොපිරිහෙලා තම වගකීම ඉටු කරන නාවික හමුදාව මෙවර සිය 66 වන සංවත්සරය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් සංවිධානය කරන ලදී.

ඒ අනුව, ‍නොවැම්බර් මස 21 වන දින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති නාවික ධජයන්ට සෙත්පැතීමේ ධජ පූජාව සහ කප්රුක් පූජාව සමගින් ආරම්භ කරන ලද ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා‍ දෙව් මැදුරේ ද, මුස්ලිම් ආගමික උත්සවය කොළඹ චැතැම් වීදියේ ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ ද, හින්දු ආගමික උත්සවය කොටහේන, පොන්නම්බලවානේශ්වරන් හින්දු කෝවිලේදී ද පැවැත්විණි.

මීට සමගාමීව වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී දේශය වෙනුවෙන් සිය දිවි කුසුම පුද කළ නාවික රණවිරුවන්හට, ඔවුන්ගේ පවුල්වල සාමා‍ජිකයන්ගේ සහාය ද ඇතිව පහන් දල්වා පුණ්‍යානුමෝදනා එක් කරන ලදී. ඉන් අනතුරුව, එදිනම නාවික හමුදාධිපතිතුමා සහ සියළුම නාවික හමුදා පුද්ගලයින්හටත් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්හටත් සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සහ ස්වාමීන්වහන්සේලා 66 නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.

තවද, දෙසැම්බර් මස 8 සහ 9 යන දෙදින ‍ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් අභියසදී ගිලන්පස සහිත බුද්ධ පූජාවක් පැවැත්වීමට ද කටයුතු කෙරිණි. ඉන් පසුව නාවික හමුදාධිපතිතුමන් විසින් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ මහානායක හිමිවරුන් බැහැදකින ලදී. ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී උත්තම ශ්‍රී දන්ත දාතූන්වහස්සේ උදෙසා අමුතු මුල්තැන් පූජාව පැවැත්විණි. ‍එම පුණ්‍ය කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නයේ හිමිවරුන් විසිපස් නමක් විෂයෙහි දානය පිළිගැන්වීම ද සිදු විය. මෙම අවස්ථාවන් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ‍නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද එක්වී සිටියහ. එමෙන්ම, මෙයට සමගාමීව කැළණිය රජමහා විහාරස්ථානයේදී ගිලන්පස පූජාවක්, බෝධි පූජාවක් සහ ධර්ම දේශණයක් ද නුදුරේදීම පැවැත්වීමට නියමිතව ඇත.

මෙම කර්තව්‍යයන්ට අමතරව සියළුම නාවික විධානයන්හි සර්ව ආගමික කටයුතු, ප්‍රජා සත්කාරක සහ සමාජ සුභසාධන වැඩසටහන් රැසක් ද පැවැත්විය. අවංකත්වයෙන්, විනයෙන්, නීතිගරුක බවින් සහ වෘත්තීමය නිපුණත්වයකින් පරිපූර්ණව පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මගේ රට යන උදාරතර සංකල්පයෙන් රට වට බැදි රන් වැට ලෙස එදා මෙන් අදත්, අද මෙන් හෙටත් ශ්‍රී ලංකා නාවික හමුදාව මාතෘ භූමිය රැක ගැනීම උදෙසා නිරන්තරයෙන් ඇප කැප වී සිටියි.