62 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් අද (4) විවෘත ‍කෙරිණි. 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නැඟුණු අතර, පුත්තලම පොලිස් ස්ථානය, වව්නියාව කට්ටිකුලම් ප්‍රදේශයේ සහ මහියංගනය ඉකිරියගොඩ කනිෂ්ඨ විද්‍යාලය යන ස්ථානයන් හිදී මෙම ජල පිරිපහදු යන්ත්‍ර විවෘත කරන ලදී. මෙම යන්ත්‍ර 3 ත් සමග අද වන විට මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 62 ක් දිවයින පුරා ස්ථාපිත කර නොමිලේ පානීය ජලය මහජනතාවට ලබාදිමට නාවික හමුදාව සමත් වී ඇත.  

වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතින අතර, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඉතා අඩු පිරිවැයක් දරමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදන කර ඇත. ඒ අනුව පුත්තලම පොලිස් ස්ථානයේ, ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සඳහා පොලිස් මූලස්ථානයේ මූල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර, කට්ටිකුලම් ප්‍රදේශයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සඳහා සිරස රූපවාහිනියේ ගම්මැද්ද ප්‍රජා සත්කාරක සේවාව ය‍ටත් ගබෝ ට්‍රස්ට් සංවිධානය විසින් මූල්‍යමය අනුග්‍රහය දරා ඇත. තවද, ඉකිරියගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

මෙම ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් 450 කට, වව්නියාව කට්ටිකුලම් ප්‍රදේශයේ පවුල් 345 කට සහ ඉකිරියගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් 150 දෙදෙනෙකු, ගුරුවරුන් 11 දෙදෙනෙකු හා ප්‍රදේශයේ පවුල් 412 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඉකිරියගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදී.