ජ්‍යෙෂ්ඨ නාවිකයින් 90 දෙනෙකු වෙත පොලී රහිත ණය ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත සිදු කෙරෙන ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 5 බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීමේ තවත් අදියරක් අද (2) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන 66 වන නාවික දිනයට සමගාමීව ජ්‍යෙෂ්ඨ නාවිකයන් 90 දෙනෙකු සඳහා රුපියල් මිලියන 45 ක් වටිනා ප්‍රේශණපත් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙසේ සිදු කරන ලදී. එමෙන්ම, මේ දක්වා ජ්‍යෙෂ්ඨ නාවිකයන් 741 ක් දෙනෙකු වෙත රුපියල් මිලියන 325.5 ක මුදලක් පොලී රහිත ණය වශයෙන් ලබා දීමට කටයුතු කර ඇත. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් පිරිසක් ද සහභාගී වී සිටියහ.