නාවික හමුදාධිපති නවක ශිෂ්‍ය භට නිලධාරීන් හා ඉඳුරාම බඳවාගත් නිලධාරීන් අමතයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුතින් බඳවාගන්නා ලද 57 වන බඳවාගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරීන් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (08) දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ශ්‍රවනාගාරයේදී අමතනු ලැබිණි. නාවික හමුදා සේවයට එක්වුණු නව නිලධාරීන් හා ඔවුන්ගේ දෙමව්පියන් නාවික හමුදාධිපති තුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව මාතෘ භූමියට සේවය කිරීම සඳහා තම දරුවන් භාර කළ දෙමව්පියන් හට සිය කෘතවේදීත්වය පළ කළේය. එමෙන්ම, ඉතා සීමිත පිරිසකට පමණක් ලැබෙන මෙම වටිනා අවස්ථාවෙන් උපරීම ප්‍රථිඵල ලබාගැනීමට අදහස් කරගන්නා ලෙසද නවක නිලධාරීන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.

57 වන බඳවා ගැනීම සඳහා විධායක, සැපයුම්, විනයාරක්ෂක, ඉංජිනේරු සහ විද්‍යුත් අංශයන්ගෙන් ශිෂ්‍යභට නිලධාරීන් 26 දෙනෙකු ඇතුළත් වන අතර, නිලධාරීන් 11 දෙනෙකු නැව්බඳ කාර්මික, දන්ත වෛද්‍ය, සායනික මනෝවෛද්‍ය සහ මනෝ උපදේශක අංශයන් සඳහා ඉඳුරාම බඳවා ගෙන ඇත.

මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්ගේ සහ ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු පවුල්වල සාමාජිකයන් පිරිසක් ද එක් විය.